BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

කොරෝනා බූස්ටර් එන්නත දීමටත් සැරසෙයි

කොරොනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදී ඇතත් පුද්ගල මරණ සංඛ්‍යාව ඉහළ යාමට හේතු වී ඇත්තේ මරණයට පත් වූවන්  එන්නත්කරණයට ලක්වී නොමැති නිසා යැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

මරණයට පත් වූවන්ගේ දත්ත විශ්ලේෂණය කිරීමේ දී ඔවුන්ගෙන් සියයට අනූ හයක්ම කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබා නොගෙන ඇති බව තහවුරු වී ඇතැයි අද (31දා) කුණ්ඩසාලේ දී මාධ්‍ය හමුවේ අදහස් පළකරමින් අමාත්‍යවරයා මේ බව කීවේය.

දිනකට එන්නත් මාත්‍රා පන් ලක්ෂ තිස් දහසක් ලබා දී ආසියාකරයේ වාර්ථාවක් තැබීමට  ශ්‍රී ලංකාවට හැකිවී ඇතැයි කී අමාත්‍යවරයා මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් දිනකට එන්නත් ලක්ෂයකට අධික මාත්‍රා ප්‍රමාණයක් ලබා දී ඇතැයි ද ප්‍රකාශ කළේය.

ලංකාවට එන්නත් ලබාදීමේදී සුදුසු ඕනෑම එන්නතත් ගෙන ඒමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා මර්දන කමිටු රැස්වීමේදී උපදෙස් දුන් බවද අමාත්‍යවරයා කීවේය.

ලබන මාසයේදී මෙරටට ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා මිලියන හතරක් හිමිවන බව කී ඒ මහතා ඒ අනුව මෙරට සියලු පුරවැසියන්ට එන්නත් ලබාදීමට හැකිවනු ඇතැයි ද සදහන් කළේය.

ඒ අනුව කොරෝනා මර්දන තුන් වන මාත්‍රාව ලබා දීමටත් සූදානම් වන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එන්නත් ලබා නොගෙන ඇති ජනතාව හඳුනාගැනීම පහසු වීම පිණිස එන්නත් ලබා දුන් අයට විශේෂ හැඳුනුම්පතක් ලබා දීමට හැකි වැඩපිළිවෙළක් තමන් යෝජනා කරන බව කී ඒ මහතා ඉදිරියේ දී අධ්‍යාපනික කටයුතු හෝ වෙනත් අවශ්‍යතා වෙනුවෙන් විදේශගතවන අයට ඒ ඒ රටට උචිත එන්නත් ලබා දීමට අවශ්‍ය කටයුතු සංවිධාන කරන  බවද ප්‍රකාශ කළේය.

මහනුවර දිස්ත්‍රික්කයේ සඳහා  එන්නත් මාත්‍රා ලක්ෂයක් හිමිවීමෙන් අනතුරුව දිස්ත්‍රික්කයේ සියලු පදිංචිකරුවන්ට එන්නත් ලබා දීම නිමවන බවත් එම එන්නත් අවශ්‍යතාවය ලේඛණගත කරන  මෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාට දන්වා ඇතැයිද  අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button