BREAKING NEWSEXCLUSIVEPOLITICS

පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තා මෛත්‍රී වහාම CID හමුවට කැඳවන්න. – කතෝලික සභාව..!

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමෙන් ප්‍රහාරය වළක්වා නොගැනීමේ ප්‍රධාන වගකිවයුත්තා ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කළයුතු බව කතෝලික සභාව පවසනවා.

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර ඇති පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීමට අද (17) එහි පැමිණි ජුඩ් ක්‍රිශාන්ත පියතුමන් මේ බව සඳහන් කලා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්පුර්ණයෙන් වගකිව යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගිය වසරේ නොවැම්බර් මස 26 වනදා ප්‍රකාශ කර තිබුණි.

එපමණක් නොව ඔහු පැවසුවේ, හිටපු ජනාධිපතිවරයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට මතයේ ද තමන් සිටින බවය.

මෙම ප්‍රකාශය පදනම් කරගනිමින් වහා විමර්ශනයක් ආරම්භ කරන්නැයි කතෝලික සභාව නියෝජනය කරමින් අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජුඩ් ක්‍රිශාන්ත පියතුමන් පසුගිය දෙසැම්බර් මස 10 වනද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළේය.

ඒ අනුව අද පෙරවරු 09යට ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ජුඩ් ක්‍රිශාන්ත පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවා තිබුණි.

එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය හමුවේ පැය 03කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු පියතුමන් ඉන් පිටතට පැමිණියේ පස්වරු 12.30ට පමණය.

එහිදී ජුඩ් ක්‍රිශාන්ත පියතුමන් පැවසුවේ,

“මගේ ප්‍රකාශය වුණේ ප්‍රසන්න රණතුංග ඇමතිතුමාව ගෙනල්ලා එතුමා කරපු ඒ ප්‍රකාශය ගැන විදිමත් පරීක්ෂණයක් කරන්න කියලා. මමත් විශ්වාස කරනවා එතුමාට සාක්ෂි ඇති.. එවැනි ප්‍රකාශයක් කරන්න. ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගේ මතයේම තමයි අපිත් ඉන්නේ.”

“රටේ ජනතාව වුණත් දන්නේ නැතුව ඇති මෛත්‍රීපාල සිරිසේන මහතාම පත් කළ පංච පුද්ගල ජනාධිපති කොමිසම අවසානයේ දුන්නු කොමිෂන් සභා වාර්තාවේ 19 වන වගවීම කියන පරිච්ඡේදයේ සඳහන් වෙනවා.. මම ඒක උපුටා දක්වන්නම්.”

“‘ජනාධිපති සිරිසේන සහ නිලන්ත ජයවර්ධන අතර ඇති සාක්ෂි අතර ඉතා සමීප සම්බන්ධතාවයක් නිරීක්ෂණය කළ පරීක්ෂණ කොමිෂන් සභාව නිරීක්ෂණය කරන්නේ සම්භාවිතා සමතුලිතතාවයක් මත නිලන්ත ජයවර්ධන විසින් 2019 අප්‍රේල් 4 වනදා සිට 16 දක්වා කාලය තුළ ලද බුද්ධි තොරතුරු ජනාධිපති සිරිසේන වෙත ලබාදුන් බවය. ඒ නිසා ජනාධිපති සිරිසේන ට එරෙහිව අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකාබැලිය යුතු බව පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරනවා.’ යනුවෙන්.”

“පහුගිය දවස්වල පාර්ලිමේන්තු විවාදයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා කියනවා.. මගේ අතේ තමයි 2/3ක බලය තියෙන්නේ කියලා. එහෙම නම් අපි මේ රජයෙන් අහන්නේ, ඇයි මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නඩු පවරන්නේ නැත්තේ. රජයේ 2/3කේ බලය රැකගන්න ද? ඒක නිසයි අපි කියන්නේ හිටපු ජනපති නීතිය ඉදිරියට අරගෙන ප්‍රශ්න කරලා විමර්ශන කරන්න කියලා.”

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button