ගංවතුරේ බස් රථය ධාවනය කළ රියදුරා සහ කොන්දොස්තරවයා රිමාන්ඩ්.!

පොළොන්නරුව මඩකලපුව ප්රධාන මාර්ගයේ මනම්පිටිය සහ ගල්ලෑල්ල අතර ප්රදේශය ගංවතුරෙන් යටවී තිබියදී මගීන් පිරිසක් රැගත් බස් රථයක් ධාවනය කළ බව කියන පෞද්ගලික බස් රථයේ රියැදුරා සහ එහි කොන්දොස්තරවරයා මේ මස 27 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසට පොළොන්නරුව වැඩබලන මහෙස්ත්රාත්වරයා නියෝග කර තිබේ.
අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය, අපරීක්ෂාකාරී ක්රියාවකින් මරණ සිදුකිරීමට තැත් කිරීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
රිමාන්ඩ් භාරයට පත්වූයේ එම පෞද්ගලික බස් රථයේ රියැදුරු වන රුවන් පුෂ්පකුමාර සහ කොන්දොස්තර වශයෙන් කටයුතු කළ අසංක ප්රසාද් රත්නායක යන දෙදෙනායි.
මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථය, මාර්ගය ගංවතුරට යටවී තිබිය දී මගීන් 54 දෙනෙකු රැගත් බසය ගංවතුරට ගසාගෙන ගොස් තිබියදී පොලිසිය මහත් පරිශ්රමයකින් පසුව, එම පිරිස බේරාගෙන ආරක්ෂිත ස්ථාන කරා රැගෙන පැමිණි බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියා.