BREAKING NEWSEXCLUSIVE

ජවිපෙ අභ්‍යන්තර මතගැටුම උග්‍ර වේ – ලාල්කාන්ත කපා මීළග නායකත්වය බිමල්ට ලබා දෙන්න ‘පස්දෙනාගේ කල්ලිය’ වෑයමක!

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ පවතින මත ගැටුම් උග්‍ර අතට පත්ව තිබෙන බව වාර්තා වනවා.

ඒ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය යාන්ත්‍රණය විසින් එම පක්ෂයේ හිටපු මන්ත්‍රී බිමල් රත්නායක ඔසවා තැබීමත් සමගය.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගේ සමීපතම සගයා වන බිමල් රත්නායක පක්ෂයේ මීළග නායකයා ලෙස පත් කිරීමට එම පක්ෂයේ පිරිසක් විසින් මාධ්‍ය මෙහෙයුමක් අරඹා තිබෙන අතර, එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි ලාල්කාන්ත ඒ පිළිබඳ සිය අප්‍රසාදය පළ කර තිබුනා.

ජනතා විමුක්ති පෙරමුණ සිය පක්ෂයට ලැබෙන මාධ්‍ය සාකච්ඡා අවස්තාවන්ට සහභාගී වන පුද්ගලයා තේරීම සිදු කරන්නේ අදාල මාධ්‍ය ආයතනය නොවන අතර පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා විසිනි.

දිගින් දිගටම ජවිපෙ විසින් ඔවුන්ට ලැබුනු වාද, විවාද සඳහා බිමල් රත්නායක සහ සුනිල් හඳුන්නෙත්ති සහභාගී කරවීම එම පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ ඇතැම් පිරිසක මතභේදයට තුඩු දී තිබේ.

එහිදී කේ.ඩි ලාල්කාන්ත පවසා තිබුනේ තමන්ට මාධ්‍ය අවකාශ නොලැබීම පිළිබඳ මවිත වන බවයි, මෙතෙක් පුද්ගල ප්‍රතිරූපයන් පිම්බීම ජවිපෙ ක්‍රමය නොවුනත් මැතිවරණයක් ආසන්නයේ යම් කණ්ඩායමක් විසින් පුද්ගල ප්‍රතිරූපයන් පුම්බා ගැනීම ජවිපෙ හර පද්ධතියට විනාශයක් බවද ඔහු පෙන්වා දී තිබුනා.

ජවිපෙ නිල පුවත්පත වන ලංකා පුවත්පත සහ ජවිපෙ මාධ්‍ය යාන්ත්‍රණය විසින් අනුර කුමාර දිසානායකගේ සමීපතම සගයා වන බිමල් රත්නායකගේ ප්‍රතිරූපය ගොඩනංවමින් සිටිනා අතර පසුගිය ජනපතිවරණයෙන් අනතුරුව ජවිපෙ නායකත්ව වෙනසක් පිළිබඳ එම පක්ෂයේ දේශපාලන මණ්ඩලයේදී කතාබහක් ඇතිවූවා.

එහිදී අනුර කුමාර දිසානායක දේශපාලන මණ්ඩලයට යෝජනා කර තිබුනේ තමන් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සුදානම් බවත්, නමුත් සිය අනුප්‍රාප්තිකයා විය යුත්තේ බිමල් රත්නායක බවයි. දේශපාලන මණ්ඩලයේ බහුතරයක් යෝජනා කර තිබුනේ පක්ෂයේ දිශානතිය නවමු මගකට යොමු වීමට අවශ්‍ය නිසා කේ.ඩි ලාල්කාන්ත ජවිපෙ මීළග නායකයා ලෙස පත් කළ යුතු බවයි.

බිමල් රත්නායක සහ අනුර කුමාර දිසානායකගේ මතවාදයන් සමාන නිසා, බහුතර සිංහල ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි නායකයෙක් අවශ්‍ය බවට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ කිහිපදෙනෙක්ම යෝජනා කර තිබුනා.

වත්මන් නායක අනුර කුමාර දිසානායක ඇතුලු පිරිසක් එම යෝජනාවට විරුද්ධ වී තිබුනා.

එහිදී ඇතිවූ මතභේදය හේතුවෙන් පසුව ජවිපෙ දේශපාලන මණ්ඩලය තීරණය කළේ මහමැතිවරණය අවසන් වන තුරු නායකත්ව වෙනසකට යොමු නොවීමටයි.

ජවිපෙ තුල ‘පස්දෙනාගේ කල්ලිය’ නමින් ප්‍රසිද්ධ පිරිස වන්නේ ‘අනුර කුමාර දිසානායක, බිමල් රත්නායක, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති සහ නලින්ද ජයතිස්ස’ යි.

මෙම පස්දෙනා ශිෂ්‍ය ව්‍යාපාරයෙන් ජවිපෙට එක්වූ සාමාජිකයන් වූ අතර ඔවුන් ජවිපෙ තුල ‘ගුරුකුලයක්’ සකස් කර සිටින බවට එම පක්ෂයේම ජ්‍යේෂ්ඨයන් චෝදනා කළා.

මෑත යුගයේ ජවිපෙ තෙවරක් කැඩී ගිය අතර ඒ තෙවතාවේදීම මෙම ‘පස්දෙනාගේ කල්ලිය’ එම බෙදීම් ඇතිකිරීමට කටයුතු කළ බවට චෝදනා එල්ල වනවා.

ප්‍රථමයෙන්ම හිටපු ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ ප්‍රමුඛ ජාතිකවාදී ප්‍රවාහය ජවිපයෙන් ඉවත් වූවා. ඉන්පසුව දේශපාලන මණ්ඩලයේ නායක කුමාර් ගුණරත්නම්, පුබුදු ජාගොඩ ඇතුලු අති වාමවාදී පක්ෂයේ අප්‍රසිද්ධව තනතුරු දැරූ පිරිස ජවිපයෙන් ඉවත් වූවා. ඉන්පසුව හිටපු නායක සෝමවංශ අමරසිංහ ප්‍රමුඛ සම්ප්‍රදායික වාමවාදී කොටස ජවිපයෙන් ඉවත් වූවා.

ඔවුන් කණ්ඩායම් තුනම චෝදනා කළේ වර්තමාන ජවිපෙ බලය තහවුරු කර ගෙන සිටින මෙම පිරිස පක්ෂයේ නායකයා ප්‍රමුඛ සමාජිකයන් විශාල පිරිසක් ඝාතනය කළ එක්සත් ජාතික පක්ෂය සමග කොන්ත්‍රාත්තු දේශපාලනයක නිරත වන බවයි.

මෙම ‘පස්දෙනාගේ කල්ලිය’ ජවිපෙ මූලීක සංකල්පය වන සමාජවාදය ප්‍රතික්ෂේප කරනා, එජාපයේ ලිබරල්වාදය අනුමත කරනා, ජාතිකවාදය ප්‍රතික්ෂේප කරනා එජාප හිතැති පිරිසක් බව ජවිපෙ වාම කණ්ඩායම් පැවසූවා.

ජවිපෙ හිටපු ප්‍රචාරක ලේකම් විමල් වීරවිංශ සිය ඇත්ත වෙනුවට නැත්ත කෘතියෙන් දේශපාලන මණ්ඩලයේ ලේඛන උපුටා දක්වමින් හෙළි කළෙ ජවිපෙ පස්දෙනාගේ කල්ලියේ බොහෝමයක් එවකට එජාප පාලනය විසින් පක්ෂයට එක්කළ ඔත්තුකරුවන් විය හැකි බවත්, තමන් ඇතුලු පක්ෂයට ඒ පිළිබඳව අවබෝධ වීමට බොහෝ කල් ගිය බවත් ය.

සෝමවංශ අමරසිංහ පසුව පැවසූවේ යුද්ධය සමයේ මහින්ද රාජපක්ෂ රජයෙන් ඉවත් වී එජාපය සමග එක්ව අයවැය පරාජය කිරීමට ජවිපෙ ලබා ගත් තීරණය දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කළේ අනුර කුමාර දිසානායක විසින් බවය.

ක්‍රමයෙන් පක්ෂයට අවතීර්ණ වී, ජවිපෙ තුල ජාතිකවාදී, වාමවාදී කණ්ඩායම් එලවා දමා දැන් ජවිපෙ බලය තහවුරු කර සිටිනා ‘පස්දෙනාගේ කල්ලියේ’ මීළග උපක්‍රමය අනුර කුමාර දිසානායකගෙන් පසු පක්ෂයේ බලය සිය කල්ලියම සතුව තබා ගැනීමට බවත්, බිමල් රත්නායක ඔවුන්ගේ මීළග අනුප්‍රාප්තිකයා බවත්, කේ.ඩී ලාල්කාන්ත ඔවුන්ගේ මීළග බිල්ල වී ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගෙන් මෙම මෙහෙයුමට අවශ්‍ය අරමුදල් සහ මාධ්‍ය සහය නොමදව ලැබෙන බවද වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button