BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWS

කාබුල් ගුවන්තොටුපල ආසන්නයේ පිපිරීමක්

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපල ආසන්නයේ පිපිරීමක් සිදුව තිබෙනවා.

ප්‍රදේශයේ වෙඩි හුවමාරුවක ශබ්දයක් ද ඇසෙන අතර තුවාලකරුවන් ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

තලේබාන් පාලනය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ඇෆ්ගනිස්ථාන වැසියන් විශාල පිරිසක් මේවනවිටත් රටින් පිටවීම සඳහා ගුවන්තොටුපලට පැමිණෙමින් සිටිනවා.

ගුවන්තොටුපලේ ගේට්ටුවක් ආසන්නයේ මෙම පිපිරීම සිදුව ඇති අතර පිපිරීමක් සිදුවිය හැකි බවට ජාත්‍යන්තර බුද්ධි අංශ අනතුරු ඇගවීම් සිදුකර පැය කිහිපයකින් මෙය සිදුවීම ද විශේෂත්වයක්.

ඔවුන් පෙන්වා දී තිබුණේ මේ හේතුවෙන් සිය වැසියන්ට හැකි ඉක්මනින් කාබුල් ගුවන් තොටුපොළින් ඉවත්වන ලෙසටයි.

මෙම පිපිරීම මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් විය හැකි බවටයි සැක කෙරෙන්නේ.

කෙසේවෙතත් තුවාල ලැබූවන් හෝ මියගිය පිරිසක් පිළිබඳ මෙතෙක් තොතුරු අනාවරණ වී නැහැ.

මේ අතර තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ පාලනය සඳහා නව තනතුරු කිහිපයකට අදාළ පුද්ගලයින් නම්කර තිබෙනවා.

එවන් පසුබිමකයි අයි.එස්. ත්‍රස්තයින්ගේ ප්‍රහාරයක් කාබුල් ගුවන් තොටුපොළට එල්ලවීමේ අවදානමක් සම්බන්ධයෙන් අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව අනතුරු අඟවා තිබුණේ.

ඇෆ්ගනිස්ථානයේ පාලනය තලෙයිබාන් කැරලිකරුවන් ග්‍රහණයට නතුවී මේවන විට දෙසතියකට ආසන්න කාලයක් ගතවනවා.

ඇෆ්ගනිස්ථානයේ නව පාලනය ගෙනයාමට තවමත් නිශ්චිත නායකත්වයක් පත්කර නොමැති අතර තනතුරු කිහිපයක් සඳහා පුද්ගලයින් නම්කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

ඒ අනුව ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස තලෙයිබාන් සංවිධානයේ මුල්ලහ් අබ්දුල් කෙයුම් සකීර් නම්කර තිබෙනවා.

ඔහු ගුවන්තනාමෝවේහි අමෙරිකානු බන්ධනාගාරයක සිරදඬුවම් ලැබූ පුද්ගලයෙක්.

එරට මුදල් අමාත්‍ය ධුරය සඳහා තෝරාගෙන ඇත්තේ ජාත්‍යන්තර සම්බාධක ලැයිස්තුවේද නම් සඳහන් ගුල් අගා නම් පුද්ගලයෙක්.

ඇෆ්ගනිස්ථානයේ නව ජනාධිපතිවරයා ලෙස තලෙයිබාන් සංවිධානයේ උප ප්‍රධානියා වන මුල්ලහ් අබ්දුල් ගානි බරදාහ් පත්වනු ඇති බව ඇෆ්ගනිස්ථාන පැජ්හිවෝක් ප්‍රවෘත්ති සේවය පෙන්වා දෙනවා.

මේ අතර, 2001 වසරේ සැප්තැම්බර් 11 වැනි දින අමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය සහ පෙන්ටගණය ඉලක්ක කර එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට ඔසාමා බින් ලාඩන් සම්බන්ධ බවට තවමත් කිසිදු සාක්ෂියක් හමුවී නොමැති බව තලේබාන් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් NBC මාධ්‍ය නාළිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button