BREAKING NEWSEXCLUSIVE

පවතින මාර්ග සඳහා පාපැදි මංතීරු, මැති ඇමතිවරුන්ටත් යන්න වෙන්නෙ පාපැදියෙන්

පාපැදියෙන් රැකියාවට පැමිණීමේ ආදර්ශය ඉහළ සිට ලබාදීමේ එකඟතාවයකට පැමිණ ඇති බව අද (15) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

ආර්ථික හා පාරිසරික ප්‍රතිලාභ ළඟා කර ගැනීම සඳහා මෝටර් නොවන ක්‍රමවේදයන් පවත්නා ප්‍රවාහන පද්ධතීන් සමඟ ඒකාබද්ධ කිරීමට අදාලව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගනිමිනුයි මෙම එකඟතාවයට එළඹ තිබෙන්නේ.

ඒ අනූව පහත සඳහන් පියවරයන් ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් එකඟතාව ලබා දෙන ලදී.
* පවතින මාර්ග සඳහා සුදුසු පරිදි පාපැදි මංතීරු සලකුණු කිරීම සහ පදිකයින් සඳහා වන දැනට පවතින ඇවිදීමේ මංතීරු වැඩිදියුණු කිරීම;
* අනාගතයේ ඉදි කරනු ලබන මාර්ග සඳහා පා පැදි සහ ඇවිදීමේ මංතීරු ඇතුළත් කිරීමට පියවර ගැනීම;
* රජයේ කාර්යාල කාර්යමණ්ඩල සඳහා පා පැදි භාවිතය දිරි ගැන්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම; සහ
* කාර්යාලවල පා පැදි භාවිත කරන්නන් සඳහා ඒවා නවතා තැබීමේ ස්ථාන සහ ඒ සඳහා ප්‍රවේශය ඇතුළු අවශ්‍ය පහසුකම් සපයා දීම.

මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ ඉදිරියේදී මැතිඇමතිවරුන් ද පාපැදියෙන් සිය රාජකාරී කටයුතු සඳහා පැමිණෙනු ඇති බවය. 
“ඉදිරියේදී අමාත්‍යවරුන්ටත් සතියට බැරිනම් මාසෙකට දවසක්වත් පාපැදියක් භාවිත කිරීමේ තත්ත්වයකට එන්න පුළුවන් කමක් තියෙයි.”
“යම් යම් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න වගේ දේවල්.” 
“නමුත් අපි හිතනවා ක්‍රමානුකූලව එහෙම එන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙයි කියලා.”
“උඩ සිට පහළටම ඒ ආදර්ශය ලබාදෙන එකඟතාවයකට ආවා. ඒ නිසා එක සැරයටම අහන්න එපා හෙට ඉඳලා බයිසිකලයෙන් ද යන්නේ කියලා. නමුත් අනාගතයේ මැතිඇමතිවරු, දේශපාලනඥයින් ඒ තත්ත්වයට එයි.”
“දැනටමත් රජයේ ඉහළ නිලධාරීන් විශාල ප්‍රමාණයක් පපාපැදියෙන් කාර්යාලවලට එනවා. ඒ අයව අගය කරන වැඩසටහන් ඉදිරියේදී පරිසර අමාත්‍යාංශය සංවිධානය කරනවා.”

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button