අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රීධූර ගැටුම උග්‍ර වේ – පන්සලකට කඩා පැන පහර දෙයි, හිමිනමක් නිවාස අඩස්සියේ

දැඩි අර්බුධයකට ලක්ව තිබෙනා අපේ ජනබල පක්ෂයේ ජාතික ලයිස්තු මන්ධූරය සඳහා වන ගැටුම ගුටි බැට හුවමාරු දක්වා උග්‍ර වී තිබෙනවා.
එම පක්ෂයේ මහ ලේකම් වේදිනිගම විමලතිස්ස ස්වාමීන් වහන්සේ පවසන්නේ තමන්ට හිමි විය යුතු ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය ලබා ගැනීමට පිරිසක් සිය පන්සලට පැමිණ පහර දුන් බවයි. තම පන්සලේ සිටි භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකුට පහර දී ඇති බවත් මේ දක්වා ඊට පොලීසිය ක්‍රියාත්මක වූයේ නැති බවත් උන්වහන්සේ කියති.
මෙම ගැටුම උග්‍ර වෙමින් ගලබොඩඅත්තේ ඥානසාර හිමි පාර්ශවය විසින් අරඹේපොල රතනසාර හිමි සිර අඩස්සියේ තබා ගෙන සිටින බව ද උන්වහන්සේ චෝදනා කරති. උන්වහන්සේ සඟවාගෙන සභාපති වරයා විසින් දැඩිව පහර දී ඇති බව ද මහ ලේකම් හිමියෝ කියා සිටිති.
මේ අතර අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අද දිනයේදී අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි එම පක්ෂයෙන් මෙවර ගම්පහ දිස්ත්‍රික්කයට තරග වැදුනු පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා කුමන පාර්ශවයකින් නියෝජිතයින් ඉදිරිපත් කළ ද ගිවිසුමට අනුව සිය නිර්දේශය අනිවාර්යයෙන් ලබා ගත යුතු බවයි උන්වහන්සේ කියා සිටියේ.
මෙම ගැටුමේ සෙසු පාර්ශවකරු වන ගලබොඩඅත්තේ ඥානසාර හිමි පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ වේදිනිගම විමලතිස්ස හිමියන්ට නඩු ගණනාවක් ඇති බවය
පුරාවස්තු සංහාරයක් සම්බන්ධයෙන්ද ලේකම් හිමියන්ට චෝදනා එල්ල වී ඇති බවත්, වරෙන්තුවක් ද නිකුත් වී ඇති බවත්, සංඝ සභාවෙන්ද ප්‍රශ්න ඇතැයි ද තමන් සිතන බවත් උන්වහන්සේ පැවසීය. ඒවායෙන් බේරීම සඳහා ලේකම් හිමියක් මන්ත්‍රීධුරය පාවිච්චි කරන්න උත්සාහයක යෙදෙන බව ද ඥානසාර හිමියෝ සඳහන් කළහ.
ඉකුත් මහ මැතිවරණයේදී කොඩිය ලකුණින් තරග වැදුණු අපේ ජන බල පක්ෂයට ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයක් හිමි වුණා. ඒ සම්බන්ධයෙන් අර්බුදයක් මතුවූයේ ඊට සුදුස්සෙකු නම් කිරීමට යාමේදීයි. මහා සංඝ භේදයක්ද ඇතිවෙමින් එම මන්ත්‍රීධූරයට සිවුකෝන් සටනක් ඇරඹුනේ ඉන්පසුවයි.
ඒ පක්ෂ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමි, පක්ෂ සභාපති සමන් පෙරේරා, ගලබොඩඅත්තේ ඥානසාර හිමි සහ අතුරලියේ රතන හිමි අතරයි.
ර්මේ අතර මැතිවරණ කොමිෂන් සභාව විසින් අද ලිඛිතව දැනුම් දී ඇත්තේ ලේකම්වරයා සම්බන්දයෙන් ඇතිවී තිබෙන මතභේදාත්මක තත්වය නිරාකරණය කර ගන්නා තුරු අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා කිසිවකු ගැසට් මගින් ප්‍රසිද්ධ නොකිරීමට තීරණය කර ඇති බවයි.
සබැඳි පුවත් :