OTHERSPORTS

ඉන්දියානු බුකිකරුවන් වොලිබෝල් ක්‍රීඩාවටත් – ජාතික වොලිබෝල් කණ්ඩායම තරග පාවාදුන්නාදැයි සැකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ලොව ඉහළම දස්කම් දක්වමින් ඉන්දියාවත් පරාජය කරමින් නැගී සිටින විට ඉන්දීය බුකිකරුවන්ගේ බලපෑම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල විය. අවසානයේ ශ්‍රී ලංකාවට එරෙහි තරග ඉන්දියාව පහසුවෙන් ජය ගන්නා තැනකට පත්විය.

එලෙසට පසුගියදා නිමාවට පත්වූ 13 වැනි දකුණු ආසියානු තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වොලිබෝල් අවසන් පූර්ව තරගාවලියේ ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම තරග පාවාදුන්නා දැයි සැකයක් ඇතිව තිබේ.

මේ අනුව ශී‍්‍ර ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම තරග පාවාදීමක් සිදුකළාදැයි සැකයක් පවතින බවත් ඒ පිළිබඳ මේ වනවිට පැමිණිල්ලක් ඉදිරිපත්වී ඇති බවත් කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා පවසයි.

ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් කිරීමට බලා පොරොත්තු වන බවත් එහිදී අනාවරණය වන කරුණු සලකා බලා කී‍්‍රඩාවේ වැරදි වැළැක්වීම වෙනුවෙන් පිහිටු වූ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට පැමිණිලි කිරීමට තමන් බලා පොරොත්තු වන බවත් ජනරාල්වරයා කියා සිටියි.

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ අවසන් පූර්ව තරගයේදී ශ‍්‍රී ලංකා පිරිමි වොලිබොල් කණ්ඩායම ඉන්දීය කණ්ඩායම හමුවේ තරග වට 3-1ක් ලෙස පරාජයට පත් විය. ඒම පරාජය හේතුවෙන් අවසන් තරගය අහිමි වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම තරගාවලියේ තුන් වැනි ස්ථානය වෙනුවෙන් බංග්ලාදේශය සමග පැවැති තරගය ජය ගනිමින් ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම හමුවේ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් කී‍්‍රඩා කළ දුර්වල කී‍්‍රඩා විලාශය පිළිබඳ තමන් සෑහීමකට පත් නොවන බව කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටී.

අදාළ පැමිණිල්ල පිළිබඳ කළ විමසීමේදී අදහස් දැක්වූ කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා මෙසේ පැවසීය.

‘මේ තරගය පිළිබඳ පැමිණිල්ලක් ලැබුණම තමයි මටත් මේ ගැන කල්පනා වුණේ. ඇත්තටම කත්මණ්ඩු නුවරදී මම මේ තරගය නරුඹුවා. ඒ තරගයේදී පළමු වටය ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ හොඳින් කී‍්‍රඩා කළා.

දෙවැනි වටයේදී අපේ කී‍්‍රඩකයෝ පන්දු පිරිනැමීම් 12ක් අසාර්ථක කර ගත්තා. ඒ කියන්නේ ප‍්‍රතිවාදී කණ්ඩායමේ ලකුණු 24න් ලකුණු 12ක්ම අපේ කී‍්‍රඩකයෝ නිකන් දීලා. එය එසේ විය හැකිද කියලා අපිට මේ මොහොතේ ගැටළුවක් මතු වෙනවා.

අපේ කණ්ඩායම මාස ගණනක් තිස්සේ පුරුදු පුහුණු වෙලා මේ තරගයට ගියේ. අවුරුදු එකහමාරක් දෙකක් විතර විදෙස් පුහුණුකරුවෙක් යටතේ පුහුණු වීම් කළා. එහෙම පුහුණුවීම් කරපු කණ්ඩායමක් එදා කී‍්‍රඩා කළේ ගමේ අවුරුදු උත්සවයට කී‍්‍රඩා කරන කණ්ඩායමක් වගේ.’

මෙහිදී ශී‍්‍ර ලංකා වොලිබොල් කණ්ඩායමට විරුද්ධව ඉදිරිපත් වී ඇති තවත් චෝදනාවක් පිළිබඳ අදහස් දැක්වූ මුතුගල මහතා ‘එක දිගටම කී‍්‍රඩකයෙක් පන්දු පිරිනැමීම වරද්දනකොට පුහුණුකරුට තිබුණා අතිරේක කී‍්‍රඩකයෙක් එතනට ආදේශ කරන්න. එහෙත් අපි එහෙම දෙයක් එතන දැක්කේ නැහැ. මේ කාරණා සියල්ල ගැන ගැඹුරින් අධ්‍යයනය කරද්දී අපිට මේ තරගයේ අභව්‍ය ගතියක් දැනෙනවා’ යැයිද කියා සිටියේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button