BREAKING NEWSEXCLUSIVE

විදේශීය විශේෂඥ කණ්ඩායම මුහුදු බත්වූ පර්ල් එක්ස්ප්‍රස් නෞකාව අසලට යති

කොළඹ වරාය ආසන්න මුහුදු ප්‍රදේශයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් සමුද්‍ර පරිසරයට සිදුවූ හානි විශ්ලේෂනය කිරීම සදහා මෙරටට පැමිණි විදේශීය විශේෂඥ කණ්ඩායම අද එම නෞකාව අසලට ගොස් පරීක්ෂණ ආරම්භ කළා.

මෙම විශේෂඥ කණ්ඩායමට ප්‍රංශ ජාතිකයින් දෙදෙනෙකු, ඉතාලි ජාතිකයෙකු සහ ස්විස්ටර්ලන්ත ජාතිකයෙකුද අයත්. ඒ අතර එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනේ සම්බන්ධීකාරකවරයෙකුද වන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සදහන් කළේ. මෙම විශේෂඥ කණ්ඩායම මෙම නෞකාව ගිනි ගැනීමට ලක්වීම හේතුවෙන් ඒ ආශ්‍රිත සාගර පද්ධතියට මෙන්ම මුහුදු ජීවීන්ට සිදුවූ බලපෑම් පිළිබදව පුළුල් ලෙස පරීක්ෂා කෙරෙනු ඇති.

මේ අතර මියගිය කැස්බෑවන් තිදෙනෙකු සහ ඩොල්පින් මත්ස්‍යයෙකු මඩකළපුව කිරාන්කුලම් වෙරළට අද පෙරවරුවේ ගොඩගසා තිබෙනවා. අනතුරුව මෙම ස්ථානයට පැමිණි වන ජීවී දෙපාර්තමේන්තුවේ මඩකළපුව ප්‍රාදේශීය නිලධාරීවරයා මිය ගිය එම මුහුදු ජීවීන් අම්පාර වනජීවී සත්ව වෛද්‍ය අංශයට භාර දීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර පිළිස්සුම් තුවාල සහිතව  මියගිය තල්මසෙකු මන්නාරම කරඩිකුලි වෙරළ තීරයට අද ගොඩගසා තිබුනා. මෙම තල්මසා අඩි 12 කට ආසන්න දිගකින් යුක්ත බවයි ධීවරයින් පැවසුවේ. මීට පෙරද මන්නාරම, සිලාවතුර, මුසලී, වංකාලෙයි, අරිප්පු වෙරළ තීරයන් වෙත මියගිය කැස්බෑවන් කිහිපදෙනෙකු ගොඩගසා තිබුණා.

කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑම් හේතුවෙන් මෙලෙස මුහුදු ජීවීන් මියයන්නට ඇති බවටයි සැලකෙන්නේ. මේ වන විට කැස්බෑවන්, තල්මසුන්, ඩොල්පින් මත්ස්‍යයින් ඇතුලු මුහුදු ජීවීන් 50 කට වැඩි සංඛ්‍යාවක් දිවයිනේ වෙරළ තීරයන් රැසකට ගොඩගසා තිබෙනවා. කෙසේ වෙතත් එම මුහුදු ජීවීන්ගේ මරණවලට හේතුව කුමක්දැයි සෘජුව ප්‍රකාශ කිරීමට බලධාරීන් අසමත් වී ඇති බවයි පරිසරවේදීන් පවසන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button