ජනගහනයෙන් 70% එන්නත් කල ඊශ්රායලයේත් නව කොවිඩ් රැල්ලක්..

රටේ ජනගහනයෙන් සියයට 70 කට වඩා වැඩි පිරිසකට එන්නත් ලබාදී තිබියදී ඊශ්‍රායෙලයේ යළිත් වරක් කොවිඩ් රැල්ලක් ආරම්භවී තිබෙනවා.
ඒ අනුව අධිවේගී එන්නත්කරණය තුළින් සාර්ථකත්වයක් ලබාගත් රටවල්වලට පවා දැඩි අභියෝගයක් එල්ල කරමින් ඉන්දියාවේ ඩෙල්ටා වෛරස ප්‍රභේදය මේ වනවිට ශීඝ්‍රයෙන් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා.
ඩෙල්ටා ප්‍රභේදයෙන් ඇතිවී තිබෙන නව තර්ජනය හමුවේ කොවිඩ් වෛරසයේ වඩාත් බෝවන ප්‍රභේදවලට නිරාවරණය වන ඕනෑම අයෙකු නිරෝධායනය කිරීමට ඊශ්‍රායෙලය එරට සෞඛ්‍ය නිලධාරීන්ට බලය ලබාදී තිබේ.
ඒ අනුව එන්නත්කරණයෙන් සහ මීට පෙර වෛරසය ආසාදනයවීමෙන් වෛරසයට එරෙහි ප්‍රතිශක්තිය හිමිව ඇති පුද්ගලයින් පවා නිරෝධායනයට ලක්කෙරෙනු ඇත.
මෙම තත්ත්වය උදා වී තිබෙන්නේ එරට ජනගහනයෙන් සියයට 70 කට වඩා වැඩි පිරිසකට සාර්ථකත්වයෙන් ඉහළ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ලබා දී තිබියදී වීම විශේෂත්වයකි.
එම සාර්ථක එන්නත්කරණය හමුවේ, මුහුණු ආවරණ පැලඳීම පවා අනිවාර්ය නොවන බව ඊශ්රායෙල සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දුන්නේ පසුගිය මැයි මාසයේය.
කෙසේ වෙතත් කොවිඩ් නව ව්‍යාප්තිය හමුවේ ගෘහස්ථ අවකාශයන්හි මුඛ ආවරණ පැළඳීම අනිවාර්යය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත. නව ආසාදිතයන්ගෙන් 90% ක්ම ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් බවට ඊශ්රායෙල සෞඛ්‍ය නිලධාරීන් විශ්වාසය පළ කරයි.
ආසාදිත වැඩිහිටියන්ගෙන් අඩක් පමණ ෆයිසර් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අය යැයි ද ඊශ්රායෙල මාධ්‍ය වාර්තා කර ඇත. කොවිඩ් වසංගතය පාලනය අතින් ඉදිරියෙන් සිටිය ද ඩෙල්ටා ප්‍රභේදයට ගොදුරුවෙමින් පවතින තවත් රටක් වන්නේ ජර්මනියයි.
වැඩි සම්ප්‍රේෂණ හැකියාවක් සහිත ඩෙල්ටා වෛරස ප්‍රභේදය ගිම්හානයේදී ජර්මනියේ ප්රමුඛ ප්‍රභේදය බවට පත්වනු ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
මේ අතර ඩෙල්ටා ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ මුහුණු ආවරණ පැළඳීම ඇතුළු සෙසු සෞඛ්‍ය ආරක්ෂණ පියවර අනුගමනය කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයත් එන්නත් කරන ලද ජනතාවගෙන් ඉල්ලා තිබේ.
ඩෙල්ටා විකෘතිය මේ වනවිට ලොව රටවල් රැසකට ව්‍යාප්තවී ඇති අතර, ලෝක සෙඛ්‍ය සංවිධානයට අනුව, ලොවට තර්ජනයක් කළ හැකි බිහිසුණු වෛරස විකෘති ප්‍රභේදය වන්නේ ද මෙයයි.