BREAKING NEWSEXCLUSIVE

කෝටි 4ක විස්කි අතුරුදහන් වෙයි

රේගු අධීක්ෂණය යටතේ අඩි 40 කන්ටේනරයක් තුළ තිබූ රුපියල් කෝටි 4කට අධික වටිනාකමින් යුත් විස්කි සහ වයින් බෝතල් තොගයක් අතුරුදහන් වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන රේගු පරීක්ෂකවරයකු ලබන මස 1 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය ඊයේ (18 වැනිදා) නියෝග කළේය.

සාපරාධි විශ්වාසය කඩ කිරීමේ චෝදනා යටතේ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ ග්ලෝබල් ට්‍රාන්ස් පොටේෂන් ඇන්ඩ් ලොජස්ටික් පුද්ගලික සමාගමේ තීරුබදු රහිත බන්ධිත ගුදමේ ප්‍රධාන රේගු පරීක්ෂක ලෙස සේවය කළ අංක 47, නඳුන් උයන, වේරදූව, මාතර පදිංචි කතලුව පටබැඳිගේ ජගත් නමැති සැකකරු එලෙස රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව රේගුවට සම්බන්ධ නිලධාරීන් පිරිසක් පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වන බව දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව, ප්‍රධාන සැකකරුවන් දෙදෙනකු මේ වන විටත් මෙරටින් පලාගොස් ඩුබායි රටේ සිටින බවද අධිකරණයට දන්වා සිටියේය.

විදේශීය මත්පැන් බවට ප්‍රකාශ කර ප්‍රතිඅපනයනය සඳහා ඉදිරිපත් කර තිබූ අඩි 40ක් දිගැති කන්ටේනරය පරීක්ෂා කිරී​මේදී ඒ තුළ පානීය වතුර බෝතල් සහ හඳුනා නොගත් ද්‍රව්‍ය අඩංගු ප්ලාස්ටික් බැරල් 20ක් ආදේශ කර තිබීම සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයා වෙත කර තිබූ පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය පිළිබඳව තම දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් පැවැත්වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණය වෙත දන්වා සිටියේය.

අදාළ කන්ටේනරය පරීක්ෂා කිරීමේදී එහි තිබූ විස්කි සහ වයින් බෝතල් සියල්ල ඉවත් කර තිබූ බවත් ඒ පිළිබඳව පුද්ගලයන් රැසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

සැකකාර ප්‍රධාන රේගු පරීක්ෂකවරයා සහ ඩුබායි වෙත පලාගොස් සිටින සැකකරුවන් දෙදෙනා අතර හමුවක් වත්තල පිහිටි ග්ලෝබල් ට්‍රාන්ස්​පෝටේෂන් ඇන්ඩ් ලොජස්ටික් පුද්ගලික සමාගමේ කාර්යාලයේදී සිදුව තිබෙන බව අනාවරණය වූයේ යැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දන්වා සිටියේය.

තීරුබදු ගෙවීමකින් තොරව ලබාගත් විස්කි සහ වයින් අඩංගු කන්ටේනරය සැකකාර ප්‍රධාන රේගු පරීක්ෂක කේ.පී. ජගත් නමැත්තා භාරයේ තිබූ බව දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ අනුව අදාළ භාණ්ඩ අතුරුදන් වීම මගින් සැකකරු සාපරාධි විශ්වාසය කඩ කර තිබෙන බව අධිකරණයට දන්වා සිටියේය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button