BREAKING NEWS

දුම්රිය වර්ජනය අදත්

පසුගිය දිනවල අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වූ දුම්රිය වෘත්තීය සමිති අද (30) දිනයේද වැඩ වර්ජනයේ නිරත වනවා. ඒ, වැටුප් විෂමතා ගැටළුව මුල්කර ගනිමින්. ඔවුන් මෙලෙස අඛණ්ඩව වැඩවර්ජනයේ නිරතවන්නේ පස්වන දිනටයි.

කෙසේවෙතත්, අද උදෑසන කාර්යාල දුම්රිය 10 ක් පමණ ධාවනය කිරීමට ද කටයුතු යොදා තිබෙනවා. සාමාන්‍යයෙන් දෛනිකව පෙරවරුවේ ධාවනය වන කාර්යාලයීය දුම්රිය සංඛ්‍යාව 30 ක්.

මෙම වර්ජනයට එක්ව සිටින වෘත්තීය සමිති අපේක්ෂාවෙන් බලා සිටින කැබිනට් අනුකමිටුව අද පස්වරුවේ රැස්වීමට නියමිතයි. එහිදී ලැබෙන තීරණය මත සිය වර්ජනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ පවසනවා.

අද පස්වරුවේ තීරණයක් නොලැබුණහොත් වර්ජනය අඛණ්ඩව සිදුකරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මෙම දුම්රිය වර්ජනය හේතුවෙන් ඉකුත් දින කිහිපයේම මගීන් දැඩි අපහසුතාවට පත්වුණා. වර්ජනය හේතුවෙන් සති අන්තයේ ධාවනය වීමට තිබූ සියලූ දුම්රිය අවලංගු කිරීමටයි සිදුවුණේ. මේ අතරතුර දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ දුම්රිය ධාවනය යථාතත්ත්වයට පත් කිරීම සඳහා විශ‍්‍රාමික සේවකයින් යළි සේවයට කැඳවීමටයි.

ඉකුත් සතියේ වෘත්තීය සංගම් රැසක් වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගවල නිරත වුණේ වැටුප් විෂමතා ඇතුළු ගැටලූ කිහිපයක් මුල් කරගනිමින්. මෙම වර්ජනය හේතුවෙන් රාජ්‍ය ආයතන රැසක කටයුතු බිඳ වැටුණා.

මෙම වෘත්තීය සමිති ගැටළුව සම්බන්ධයෙන් කැබිනට් අනු කමිටුවේ සාමාජික, අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාරගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ “මෙම වෘත්තීය අරගලය පිටුපස ඇත්තේ දේශපාලන හස්තයක් බවට පැහැදිළිව පෙනෙන්නට තියෙනවා. මැතිවරණයක් වෙලාවක මේ වගේ අරගල කරන එක සුදුසු නෑ. මේ රජය ඔය කියන විධායක ශ්‍රේණියට 130%කින් 140%කින් පඩි වැඩි කරලා තියෙනවා. ජනතාවට මේ කාරණය පැහැදිළි කරන්න අවශ්‍යයි. අපි කියන්නේ මේ මැතිවරණයෙන් පස්සේ අලුත් රජයක් යටතේ අපි මේ ගැන කතා කරමු.” යනුවෙනි.

මේ අතර දුම්රිය හා තැපැල් ඇතුළු සේවාවල වැටුප් විෂමතාද ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය ඉකුත්දා ප‍්‍රකාශ කළා. කෙසේවෙතත් වෘත්තීය සමිති පවසන්නේ සිය ඉල්ලීම්වලට ස්ථිර විසදුමක් අද දිනයේ නොලැබුණ හොත් සිය වර්ජන ක‍්‍රියාමාර්ග අඛණ්ඩව සිදුකරන බවයි. රජයේ විධායක නිලධාරීන් ආරම්භ කළ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයද තවදුරටත් සිදු වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button